Monday, January 25, 2010

පන්සිය පණස් ජාතක පොතෙහි එන අප්‍රකට ජාතක කතාවක් වන ගණ්ඬතීන්දු ජාතකය ඇසුරු කොට ගත් පරේයේෂණාත්මක නාට්‍යයක් ලෙස 'රජ කතාව' හැඳින්විය හැකිය. එකිනෙක වෙළී ගිය තුන් ඈඳුතු පුවතක් එහි අන්තර්ගතය. එනම් ධර්ම දේශනය, පංචාල රජ පුවත හා උමතු ස්ත්‍රිය හා සම්බන්ධ පුවතය.






ඊට ම ආවේණික වූ රංග ශෛලියක් අනුව රඟ දැක්වෙන රජ කතාව, දොරකඩ අස්න, මිලිඳු-නාගසේන ධර්ම දේශනාව, ආලවක දමනය, පෙරේත බණ ආදී වූ නාට්‍යමය ලක්ෂණ අන්තර්ගත බෞද්ධ ධර්ම දේශනා සම්ප්‍රදායේ ඉදිරි පියවරකි. තව ද, බණ මඩුව කේන්ද්‍ර කොට ගන්නා එය, මහජනයා රැස් වන ස්ථාන කේන්ද්‍ර කොට ගනිමින් දර්ශනය කෙරුණු වීථි නාට්‍ය සම්ප්‍රදායේ ද ඉදිරි පියවරක් සේ සැලකිය හැකිය.

රජ කතාව නිර්මාණයේ දී, ජන සාහිත්‍යය, බෞද්ධාගමික වත් පිළිවෙත්, යාතු කර්ම හා ගැමි නාටක ආදියට අගයක් එක් කරමින්, ගීත නාටක හා මුද්‍රා නාටක ලක්ෂණ උපයෝගී කර ගැනීම විචිත්‍රවත් වූ ද, පරිපූර්ණ වූ ද නිර්මාණයක් බිහි කිරීමට ඉවහල් වී ඇති බව පෙනේ.

රජ කතාව බණ කතාවකි.
එමෙන්ම
එය රජ කතාවකි.


තුම් මිනිසත් බවේ ලද පින්වත් දනෝ
දන් පින් කෙරෙත්වා නිතින්!


රචනය හා අධ්‍යක්ෂණය - ප්‍රේමරත්න සමරනායක
දර්ශන සඳහා විමසීම් : +94714486540


බිඳ වැටෙමින් පවත්නා මා-පිය-දූ-දරු සබඳතා යළි තහවුරු කරමින්, මේ පුණ්‍ය භූමිය යළි ගොඩ නැගීමට දරන සකළවිධ ව්‍යායාමයන්ට අනුග්‍රහය දැක්වීමක් වශයෙන් මෙ බඳු නිර්මාණාත්මක ආගමික වැඩ සටහන්වල අවශ්‍යතාවය අප විසින් වටහා ගත යුතු ව ඇත.
-රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි-
සුනේත්‍රා මහා දේවි පිරිවෙන
පැපිලියාන


බෞද්ධ ධර්ම දේශනා සම්ප්‍රදායට නව මුහුණුවරක් එක් කරමින් ඉදිරිපත් කෙරෙන රජ කතාව පැසසිය යුතු වන්නේ, ප්‍රාසංගික කලාව නාමයෙන් හරසුන් විසූක දර්ශනයන්ට යොමු වී ඇති තරුණ පරපුරට ආදර්ශයක් වශයෙන්, පැරණි සම්ප්‍රදායන්හි අගය හඳුන්වා දෙමින්, පන්සලත්, සැදැහැවත් බෞද්ධ ජනතාවත්, නාට්‍ය කලාවත් එක්තැන් කරන ප්‍රයත්නයක් වශයෙනි.
-චන්ද්‍රසිරි බෝගමුව-
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - ලලිත කලා අධ්‍යයනාංශය
කැළණිය විශ්ව විද්‍යාලයය